Skip links

ඇමෙරිකානු පාලනය ‘වෙනකකු’ අතට

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ, ඉතා සීමිත පිරිසක් අතට බලය යමින් තිබෙන බවත් ඔවුන් ක්‍රමිකව බලසම්පන්න වෙමින් සිටින බවත් ජනාධිපති ජෝ බයිඩන්, බදාදා (15) අනතුරු ඇඟවීය.

‍තව දින කිහිපයකින් ධුරයෙන් නික්මෙන ජෝ බයිඩන් අවසන් වරට ජාතිය අමතමින් මෙම අනතුරු ඇඟවීම සිදු කළේ ය.

වෘත්තීයමය දේශපාලනඥයකු වන බයිඩන් මේ වනවිට 82 වැනි වියේ පසුවන අතර ඔහු ධුරයෙන් නික්ම යෑමත් සමඟ දශක ගණනාවක ඔහුගේ දේශපාලනය ද අවසන් වනු ඇත.

සීමිත පිරිසක් යනුවෙන් බයිඩන් අදහස් කළේ ඇමෙරිකාව තුළ ඉතා බලවත් කතිපයාධිපත්‍යයක් නිර්මාණය වෙමින් පවතින බව ය.

මොවුන් ඉතාම බලවත්, ධනවත් කණ්ඩායමක් බව සඳහන් කළ බයිඩන් ජනාධිපතිවරයා ඔවුන් ඉතාම බලපෑම් සහගත කණ්ඩායමක් බවත් සිය කතාවේදී සඳහන් කළේ ය.

මෙම කණ්ඩායමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට, මූලික අයිතිවාසිකම්වලට සහ නිදහසට බරපතළ තර්ජනයක් එල්ල වන්නේ යැයි ඔහු අනතුරු ඇඟවීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස‍ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ දී දිවුරුම් දීමට නියමිත ය. ඉලෝන් මස්ක්, නව ට්‍රම්ප් පරිපාලයේ ප්‍රබල චරිතයක් වන අතර ඔහුට දැනටමත් වගකීම්ද පවරා ඇත.

මෙවැනි පසුබිමක් තුළ, මෙටා සමාගමේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන තෙවැනි පාර්ශවීය කරුණු පරීක්ෂා කිරීමේ වැඩසටහන නවතා දමන බව එහි ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ජනවාරි 7 වැනිදා නිවේදනය කළේ ය. ඔහු මෙම තීරණයට ගන්නට ඇත්තේ ඩොනල්ඩ් ‍ට්‍රම්ප් සහ ඉලෝන් මස්ක්ගේ බලපෑම මත යැයි දේශපාලන විචාරකයෝ අදහස් දක්වන්නට වූහ.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන සහ සමාජ මාධ්‍ය තුළ දුස්-තොරතුරු සංසරණය වීම සම්බන්ධයෙන අනතුරු ඇඟවීමට ද බයිඩන් සිය අවසන් කතාව අවස්ථාවක් කරගත්තේ ය.

සිය කතාවේ දී ට්‍රම්ප් පරිපාලනයට, බයිඩන් ජනාධිපතිවරයා සුබපැතුම් එක් කළ ද ඔහු අනතුරු ඇඟවීම් කිහිපයක් ම කළේය.

 

Leave a comment

This website uses cookies to improve your web experience.