Skip links

ඇමරිකාවේ අලුත් දේශපාලනය සහ ෆේස්බුක්

නව වසර ආරම්භයේදීම බිලියන ගණනක් ලෝකවාසීන්ට අතිශය වැදගත්වන තීරණයක් මෙටා (Meta) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විඩියෝ පටයක් ඔස්සේ  ප්‍රකාශයට පත් කළේ ය.  ජනවාරි 7 වෙනිදා නිකුත් කළ මෙම විඩියෝ පණිවිඩය හරහා ඇමරිකා එක්සත් ජනපදය තුළ එම සමාගම ක්‍රියාත්මක කරන කරුණු පිරික්සුම් (Fact-Check) ක්‍රියාවලිය අත්හිටුවන බව ඔහු නිවේදනය කළේ ය. ඊට අමතරව තවත් වැදගත් ප්‍රතිපත්ති තීරණ කිහිපයක් ද ඔහු එහිදි ප්‍රකාශයට පත් කළේ ය.

මෙටා (Meta) සමාගම යනු ෆේස්බුක් (Facebook), ඉන්ස්ටග්‍රැම් (Instagram) සහ වට්ස්ඇප් (WhatsApp) ඇතුළු ජනප්‍රිය යෙදුම් (applications) හරහා ලොවපුරා බිලියන ගණනක් පරිශීලකයන්ට සේවා මෙහෙයුම් සපයන සමාගමකි. එම නිසාම මෙටා සමාගමේ නව තීරණ ලොව පුරා අතිවිශාල පිරිසකට බලපෑමක් ඇති කරනු ඇත.

මෙටා සමාගම තෘතීය පාර්ශව හරහා ලොව පුරා කරුණු පිරික්සීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ 2016 වසරේ දී ය. මෙම ක්‍රියාවලිය තුළ යම් දුර්වලතා  තිබුණද එය සමාජ ජාල හරහා අසත්‍ය තොරතුරු සමාජගත වීමට ඇති ප්‍රබලම බාධකයක් ලෙස ක්‍රියාත්මක විය. එලෙස තිබියදී ඇමරිකා එක්සත් ජනපදය තුළ සම්පූර්ණයෙන්ම මෙම ක්‍රියාවලිය නවතා දමා ‘X’ (පෙර Twitter) හඳුන්වා දුන් ප්‍රජා සටහන් (community notes) ආකාරයේ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට මෙටා බලාපොරොත්තුවන බව සකර්බර්ගේ විඩියෝ පටයෙන් කියැවිණි.

ඇමරිකානු දේශපාලන සන්දර්භයේ මෑතකාලීන වෙනස් වීම් මෙම තීරණ වලට බලපෑම් කරන්නට ඇති බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හරහා ඔහුගේ මතවාද සහ දේශපාලන බලපෑම්වලට යටත්ව කටයුතු කිරීමට මෙටා සමාගමට සිදුවී ඇතැයි සමහරෙක් අදහස් කරයි.

ට්‍රම්ප් බලකොටුවේ ප්‍රබලයකු වන ‘X’ සහ ටෙස්ලා හිමිකරු එලෝන් මස්ක්ගේද බලපෑම් මීට එකතුව ඇතැයි යන්න තවත් අදහසකි. ඇමරිකාවට ‘කරුණු පරික්ෂාව’ එපා යැයි කීවද ලොව පුර වෙසෙන බිලියන ගණනක් පරිශීලකයන්ට මෙම ක්‍රියාවලිය මගින් දිගුකාලීන බලපෑම් ඇති කළ හැක.

අන්තර්ජාතික කරුණු පිරික්සුම්කරුවන්ගේ ජාලය (International Fact Checking Network) විවෘත ලිපියක් හරහා දැන්වූයේ ප්‍රජා සටහන් වැනි ක්‍රමවේද වෘත්තීය කරුණු පිරික්සුම් සමග අන්තර්ගතව හෝ සමාන්තරව ක්‍රියාත්මක කළ හැකි මිශ්‍ර කමයකට යා හැකි බවය. මෙම නව තීරණ නිසාම සමාජ ජාල පිළිබඳ පරිශීලකයන්ගේ විශ්වාසය තවදුරටත් බිඳවැටීමට ඉඩ ඇති අතර මෙය දිගුකාලීනව එම සමාගම් හටම දැඩි ලෙස බලපානු ඇත.

ඇමරිකාවේ දේශපාලන වෙනස් වීම මුළුමහත් ලෝකයට තවමත් බලපෑම් කරමින් සිටියි. එහෙත් මෙලෙස සත්‍ය තොරතුරු දැනගැනීමට සහ අසත්‍යය තොරතුරු සමාජ ගත නොකිරීම මූලික වගකීම තව දුරටත් ප්‍රධාන සමාජ ජාල සමාගම් පැහැර හැරීම කනගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව වැනි ඉංග්‍රීසි කතා සංවාද අවම සමාජ ජාල පරිශීලකයන් සිටිනා ප්‍රජාවලට මෙම තීරණ වල දිගුකාලින බලපෑම දැඩි ලෙස දැනෙනු ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.