Skip links

ට්‍රම්ප්ගේ විධායක හස්තයේ ජාත්‍යන්තර දිගුව

Make America Great Again

ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ප්‍රයෝජනවත් පරිදි භාවිත කළ යුතු යැයි ද ඒවා ර‍ට තුළ ඇති අවශ්‍යතා සැපිරීම සඳහා භාවිත කළ යුතු යැයි ද ට්‍රම්ප් සිය මුල් ධුර කාලෙය්දීත් ඉකුත් ජනාධිපතිවරණය සමයේදීත් දිගින් දිගටම ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ට, නේටෝවට ඇමෙරිකාව වුවමනාවටත් වඩා වැඩියෙන් වියදම් කරන බවත් ඇමෙරිකාව බලවත් අසාධාරණයකට ලක්ව ඇති බවත් අනුන්ගේ අවශ්‍යතාවලට ඇමෙරිකාව වියදම් කළ යුතු නැති බවත් ට්‍රම්ප් දිගින් දිගටම පැවැසීය.

කතාවලට පමණක් සීමා නොවුණු ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණ පැය 24ක් යන්නටත් මත්තෙන් ඒ සඳහා පියවර ගත් අතර මේ වනවිට ලෝකය ව්‍යාකූල කරමින් විධායක නියෝග අතිවිශාල ප්‍රමාණයකට අත්සන් තබා තිබේ.

මින් ප්‍රධානතම නියෝගයක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආධාර ඒජන්සිය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද කාර්යාංශය වසා දැමීමට ට්‍රම්ප් ගෙන ඇති තීරණයයි.

විදේශ ආධාර වැඩසටහන් සියල්ල නැවත විමසා බැලිය යුතු යැයි ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් දේශීය අවශ්‍යතා සඳහා යොමු කළ යුතුය යන ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ස්ථාවරය එම තීරණයත් සමඟ මේ වනවිට ක්‍රියාවට නැංවෙමින් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආධාර ඒජන්සිය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද කාර්යාංශය බොහෝදෙනා අතර ප්‍රසිද්ධව ඇත්තේ USAID යනුවෙනි.

එය වසාදැමීමේ පළමු පියවර තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 1 වැනිදා විධායක නියෝගයකට අත්සන් තැබීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රාජ්‍ය ලේකම්වරයා වන මාර්ක් රූබියෝ, USAID හි වැඩබලන ප්‍රධානියා ලෙස පත් කිරීමට ද ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ වනවිට පියවර ගෙන තිබේ. USAID යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් ආධාර වැඩසටහන් රාජ්‍ය දෙපාර්තමේන්තුව යටත‍ට පත් කිරීමට ද පියවර ගෙන තිබේ.

USAID කරන්නේ නාස්තිකාර වියදම් යැයි ද එහි මූල්‍ය හෝ වියදම් හෝ ඒ මගින් ක්‍රියාත්මක වැඩසටහන් කිසිදු අධීක්ෂණයකට හෝ විමසීමකට හෝ ලක් නොවන්නේ යැයි ද ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කළේ ය.

ට්‍රම්ප් පරිපාලනය, ඇමෙරිකාවේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිට වූ අතර ‘රාජ්‍ය කාර්යක්ෂතා දෙපාර්තමේන්තුව’ (Department of Government Efficiency (DOGE) යනුවෙන් එය නම් කර තිබේ.

එහි ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ය. ඉලෝන් මස්ක්, ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රබල චරිතයක් වන අතර කලින් ට්විටර් (TWITTER) යනුවෙන් හැඳින්වූ ‘එක්ස්(X)’ සමාජ මාධ්‍යයේ හිමිකරු ද වේ.

කඩිනමින් ක්‍රියාත්මක වී සිටින ඉලෝන් මස්ක් මේ වනවිට USAID හි ආධාර වැඩසටහන් සියල්ල නවත්වා දමා ඇති අතර USAID හි සේවය කරන දහස් ගණනක් සිකුරාදා (7) සිට නිවාඩු යැවීමට ද ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.

USAID හි සමාජ ගිණුම්, වෙබ් අඩවිය මෙන්ම එහි කාර්යමණ්ඩලයේ විද්‍යුත් ලිපින (e-mail) මේ වනවිට අක්‍රිය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය සිය මෘදු බලය අභ්‍යාස කළ එක් ආයතනයක් වූයේ USAID යයි. එහි න්‍යාය පත්‍රය කුමක් වුවත් එයින් සිදු වූ විශාල සේවයක් වූ අතර සෞඛ්‍ය, අධ්‍යාපනය, සමානාත්මතාවය, මාධ්‍ය සාක්ෂරතාවය දක්වා විශාල වැඩසටහන් රැසක් එහි අරමුදල් හරහා ලොවපුරා ක්‍රියාත්මක විය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ තිබෙන ස්වාධීන ආයතනයක් ලෙස පිළිගැනෙන USAID මෙසේ ඈවර කර දැමීම නීතිවිරෝධී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් යැයි ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කර ඇත.

මෙම ව්‍යාකූලත්වයත් සමඟ අති විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙන අතර ඉතා තීරණාත්මක, විශේෂයෙන්ම සෞඛ්‍යයට ජන ජීවිතයට අදාළ වැඩසටහන් රැසක් ද ඇණහිට ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.