
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ආගමනය
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්ව තවමත් ගෙවී ගොස් ඇත්තේ සති දෙකකට මදක් වැඩි කාලයකි. කෙසේ නමුත් ඔහුගේ දෙවැනි ආගමනය ජාත්‍යන්තර දේශපාලනය තුළ මේ වනවිටත් පෙරළි රැසක් ඇති කර තිබේ. ඔහුගේ දැනට ගෙන ඇති තීරණවල අනාගතය කෙසේ වේවිද, ඒවා කොතරම් ස්ථීර ද කොතරම් කාලයක් ක්‍රියාත්මක වේවි ද නැතිනම් ඔහුට කාලයත් සමඟ ඒවා හකුළාගැනීමට සිදුවේවිද යන්න කිව හැක්කේ කාලයටම පමණි.
ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි 21 වැනිදාය. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් විගසම ඔහු විධායක නියෝග රැසකට අත්සන් තැබූ අතර මේ වනවිටත් ඒවායේ බරපතළකම ලෝකයට දැනෙන්නට පටන් ගෙන තිබේ.
මේ ට්‍රම්ප්ගේ දෙවැනි ආගමනය පිළිබඳ සංක්ෂිප්ත හැරී බැලීමකි.
ට්‍රම්ප් මුල් වරට ජනාධිපති ධුරයට පත්වූයේ 2016 වසරේ දී ය.
රිපබ්ලිකයන් පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 වසරේ ජූනි මාසයේ දී නිවේදනය කළ අතර ඔහුගේ ජනාධිපතිවරණ සගයා ලෙස මයික් පෙන්ස් නම් කෙරුණි. ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණය අපේක්ෂකයා බව ඉන් මසකට පසුව නිල වශයෙන් නිවේදනය කෙරුණි.
එම අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ හිලරි ක්ලින්ටන් ය. ජනාධිපතිවරණය 2016 නොවැම්බර් මාසයේ දී පැවැත්වුණු අතර ඡන්ද විද්‍යාල 304ක බලය තහවුරු කරගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් විය.
කෙසේ නමුත් එවර ජනාධිපතිවරණයේ දී, ජනප්‍රිය ඡන්ද, එසේත් නැතිනම් මහජනතාවගේ ඡන්දවලින් ඉදිරියෙන් සිටියේ හිලර් ක්ලින්ටන් ය. එසේ වුවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නේ මහජනතාවගේ ඍජු ඡන්දයෙන් නොව ඡන්ද විද්‍යාල කොපමණ ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නේ ද යන්න අනුව ය.
ඒ අනුව 2017 වසරේ ජනවාරි මාසයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
එම ධුර කාලය අවසානයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ජනාධිපති ධුරය සඳහා තරග කළ නමුත්, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩන් හමුවේ, ට්‍රම්ප් පරාජයට පත්විය.
කොවිඩ්-19 වසංගතය නිසි ලෙස කළමනාකරණය කිරීමට ට්‍රම්ප් අසමත් වූයේ යැයි චෝදනා එල්ල වූ අතර එය ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.
සුදු ජාතික පොලිස් නිලධාරියකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය වීමත් සමඟ ඇමෙරිකාව පුරා පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා ආරම්භ වූ අතර ඇතැම් තැන්වල එම විරෝධතා වාර්ගික ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා බවට පත්විය. ඇමෙරිකාවේ ජනපද 50ටම මෙම විරෝධතා ව්‍යාප්ත වූ අතර ඇතැම් ඒවා ප්‍රචණ්ඩත්වයට ද හැරිණි.
මෙවැනි පසුබිමක පැවැති ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජයට පත්වූ අතර ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 306ක බලය තහවුරු කරගනිමින් ජනාධිපති ධුරයට පත්විය.
කෙසේ නමුත් මෙම පරාජය පිළිනොගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ආධාරකරුවන් උසිගැන්වීය. ප්‍රකෝපකාරී ඩොනල්ඩ් ට්‍රම්ප් ආධාරකරුවන් 2021 ජනවාරි 6 වැනිදා කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණු අතර ජනවාරි 20 වැනිදා පැවැති ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවී ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව ගියේ ය.
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයට තරග කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ 2022 වසරේදීය. මුලදී, ඔහුගේ ප්‍රතිවාදියා ජෝ බයිඩන් වූ නමුත් ඔහුගේ වයසත් පක්ෂය තුළින් පැමිණි පීඩනයත් සමඟ ඔහු ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් විය. ඉන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ උප ජනාධිපති කමලා හැරිස් ය.
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් වාර්තාගත ජයක් ලබමින් ට්‍රම්ප් නැවතත් ධවල මන්දිරියට පැමිණි අතර ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පෙර සිටම ඉතා ම මතභේදාත්මක ප්‍රකාශ කිහිපයක්ම කළේ ය.
ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය 24ක් යන්නටත් මත්තෙන් විධායක නියෝග රැසකට අත්සන් තැබූ ඔහු මේ වනවිට ජාත්‍යන්තර දේශපාලනය උඩු යටිකුරු කර තිබේ.
ඔහු ව්‍යාප්තවාදී පිළිවෙතක් අනුගමනය කරන බව ද ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.
ඡායාරූපය – ඒ.පී (Evan Vucci/AP)