
USAID සේවක සංඛ්‍යාව 300ට අඩුවෙයි ?
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද කාර්යාංශයේ සමස්ත සේවක සංඛ්‍යාව 10,000 සිට 300කටත් වඩා අඩු සංඛ්‍යාවක් දක්වා අඩුවනු ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද කාර්යාංශය, එසේත් නැතිනම් ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ආධාර ඒජන්සිය ලොව පුරා ප්‍රසිද්ධව ඇත්තේ USAID යනුවෙනි.
ගෝලීයව සේවය කරන එහි සේවක සංඛ්‍යාව 10,000 ඉක්මවයි. USAID වසා දැමීමටත් විදේශවලට වියදම් කරන මුදල් දේශීයව යොදාගත යුතු බවත් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් මෙසේ නාස්ති වීමට ඉඩ නොදිය යුතු බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළේ ය. රිපබ්ලිකන් පක්ෂය අවස්ථා ගණනාවකදීම ඊට සමාන අදහස් දක්වා ඇති අතර ඊට සමාන ස්ථාවරයක් ද පවත්වාගෙන ගොස් ඇත.
ඉතා සීමිත සේවක සංඛ්‍යාවක් පවත්වා ගනිමින් ඉතිරි සියලු දෙනා, විදේශවල සිටින අය ද ඇතුළුව පරිපාලන නිවාඩු යැවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත. සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක වේ.
අත්‍යවශ්‍ය නොවන සියලු කොන්ත්‍රාත් සේවකයන්ගේ කොන්ත්‍රාත් අවසන් කිරීමටත් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.
බී.බී.සී. වාර්තාවක් ඇසුරිනි